ජිබූටි රාජ්‍යයේ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් 305 දෙනෙකු රැගෙන ගිය යාත්‍රාවක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරින් මියගිය සංක්‍රමණිකයින් සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා ළමයින් 15 දෙනෙකු ද වන බවයි ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානය නිවේදනය කළේ.

ජිබූටිහි අබොක් වරාය නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් වූවන්ගෙන් 82 දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ.

තවත් පිරිසක් අතුරුදහන්ව සිටින බව සෙවුම් මෙහෙයුම් පවත්වන බලධාරීන් සඳහන් කරනවා.

අනතුරින් මියගිය පිරිස මුලින් 109 දෙනෙකු ලෙස වාර්තා වුවද, පසුව සිදුකළ සෙවුම් මෙහෙයුම්වලදී තවත් මළසිරුරු 30 ක් සොයා ගැනීමත් සමග මරණ සංඛ්‍යාව 139 දක්වා මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිබූටිහි ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්සැන්ඩර් කොයිසැක් සඳහන් කළේ, අලුත් ජීවිතයක් සොයා යන සංක්‍රමණිකයන් මුහුණ දෙන අතිශය අවදානම් සහගත තත්ත්වය මෙම ශෝචනීය සිදුවීමෙන් නැවතත් මතක් කර දෙන බවයි.

අනතුරින් දිවි ගැලවුණු පිරිස ඉතියෝපියානු ජාතිකයන් වන අතර ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයා ඇති බවත්, මියගිය පිරිසේ දේහයන් පිළිබඳ අවසාන කටයුතු සිදු කිරීමට ප්‍රදේශයේ බලධාරීන් පියවර ගනිමින් සිටින බවත් වාර්තා වනවා.