අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඉකුත්දා මෙම නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළා.

එහෙත් අද මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාවට හදිසි කටයුත්තක් යෙදීම හේතුවෙන් ඇයට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව පළ කරන බවත් සිය සේවා දායිකාවට නිකුත් කර තිබෙන වරෙන්තු ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

එහිදී නඩුගොනුව පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය සඳහන් කළේ විත්තිකාරිය අවස්ථා කිහිපයකදී නිසි පරිදි පෙනී සිට නොමැති බව අනාවරණය බවයි.

ඒ අනුව නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව අවධාරණය කළ විනිසුරුවරිය විත්තිකාරියට පනවා තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නියම කළා.

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තුළින් ආගමන සහ විගමන පලත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.