සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙනවිත් ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඒ පිළිබද තවත් තොරතුරු කටුනායක ගුවන් තොටුපොලේ නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිලගෙන්.

''ඩුබායිහි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වගේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු වන කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් "බස් ලලිත්" නොහොත් "කුඩු ලලිත්" නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. අද අලුයම 5:20 ට පමණ ඩුබායිහි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන "බස් ලලිත්" වයස අවුරුදු 36 ක පුද්ගලයෙක්. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් තිබෙනවා. ඉන්පසු මොහු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා රැගෙන යාමට නියමිතයි.''