රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ ගෝනහේන කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කඩවත, සාන්ත අන්ද්‍රේ අවිල්ලීනු දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ හදිසි වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 288ක්, විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයාගත් මුදල් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු, විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පොඩි සුරේෂ්‘ සහ ‘සංඛ සමීර‘ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සාමාජිකයෙකු බව අනාවරණය වී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.