මත්ද්‍රව්‍ය ඇසුරුම්කර බෙදාහැරී සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘DJ චතූ‘ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය වටලා තිබෙනවා.
එම නිවස තුළ තිබී හොරොයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක්, එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි හා ඒවා මුද්‍රණයට යොදා ගැනීමට නියමිත විශේෂිත කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක් එහිදී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම එම නිවස තුළ සවිකර තිබූ කැමරා පද්ධතිවල මෙමරි කාඩ්, ජංගම දුරකථන 3ක් හා රන් ආලේපිත ස්වර්ණාභරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම නිවස කුලී පදනම මත ලබා ගත්තද නිරතුරුම වසා තිබෙන බවත්, එය සැකකටයුතු බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට රහසිගත තොරතුරක් ලැබි තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂාවකදීයි මේවා සොයාගෙන ඇත්තේ.
එහිදී අනාවරණය වී ඇත්තේ විදේශ ගතව සිටින පරිමාණ මත් ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙයවන රන්දික නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයකු වන ‘DJ චතු‘ නමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස මාසිකව රුපියල් 70,000 මුදලකට කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බවයි.
එම නිවසේ කාමරයක විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශ රටවල සිටින පුද්ගලයන් හා සෘජුවම සම්බන්ධ විය හැකි ලෙස සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර තිබූ බවද පොලීසිය පැවසුවා.
තෙමහල් නිවසේ පහත මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන ගණනාවකට, නිවස තුළ හා පිටත පෙනෙන අයුරින් ක්‍ක්‍ඔඪ කැමරා සවිකර, ජංගම දුරකථන හරහා අධීක්ෂණය කිරීමේ හැකි අයුරින් එම කැමරා පද්ධති සකස් කර තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




