දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර, කිලෝමීටර් 39යි දශම 3 සීමාවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
මාර්ගය අයිනේ නවත්වා රෝදයක් මාරු කරමින් තිබූ කන්ටේනර් රථයක, පිටුපසින් පැමිණි සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසරය ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.
කන්ටේනරය කොළඹ සිට මිදිගම දෙසට ධාවනය කෙරෙමින් තිබුණු එකක්.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බවුසර් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ 4 දෙනෙක්. ඔවුන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි පරිශ්‍රමයක යෙදුණූ බව එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.
වෙනත් වාහනයක ගමන් කරමින් සිටි වෛද්‍ය යුවළක් ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බේරාගැනීමේ මෙහෙයුමට සහය දැක්වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
කඹුරුපිටිය රෝහලේ වෛද්‍ය කිත්මා ගුණරත්න මහත්මිය සහ ඇගේ සැමියා වන දෑරංගල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය විද්ව කළුතොට මහතා පැය දෙකකට අධික කාලයක් ස්ථානයේ රැඳී සිටිමින් මෙලෙස තුවාලකරුවන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවුසර් රථයේ කොටස් කපා තුවාලකරුවන් ඉවතට ගත්තේ ද වෛද්‍යවරුන් දෙදෙනාගේ උපදෙස් මතයි.
මෙම මෙහෙයුම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයටද පැය කිහිපයක් බාධා එල්ල වුණා.





