කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද අලුයම එකට පමණ දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි එම අනතුර සිදුවූ ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.
බස්රථය පෙරළී යාම හේතුවෙන් එම ස්ථානයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්රී අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලැබූ බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසුවේ.
මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර හේතුවෙන් රථ වාහන තදබදයක් ද ඇති වුණා.




