ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන නව වැට් බදු (VAT) සංශෝධන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ඩිජිටල් ආර්ථිකය ඉලක්ක කරගනිමින් රජය නව බදු සංශෝධන හඳුන්වා දීමට නියමිත බවයි.

ලබන ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව වැට් බදු ක්‍රියාවලිය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව, ජනතාව සහ ව්‍යාපාරිකයන් සූරාකෑමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජය විසින් පසුගියදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකට අනුව ලබන ජූලි 01 වනදා සිට මෙරට වැට් බදු පද්ධතියේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිතයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා සඳහා වන වැට් බදු අනුපාතය සියයට 18 සිට සියයට 20.5 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙතෙක් වැට් බදු දැලට හසු නොවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් නව සංශෝධන යටතේ බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වීමට සිදු වනු ඇති.

මීට අමතරව ඩිජිටල් වේදිකා හරහා සිදු කරන සේවාවන් සඳහා ද වැට් බද්ද අලුතින්ම හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල X ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවලිය හරහා ව්‍යාපාරිකයන් මත පටවා ඇති බදු බර තවදුරටත් ඉහළ යන බවයි.

"බදු මගින් පමණක් ආර්ථිකයක් වර්ධනය කළ නොහැකි බවත්, ව්‍යාපාරිකයන්ට නිදහසේ හුස්ම ගැනීමට ඉඩක් නොමැති නම් ඔවුන් විනාශ වී යනු ඇති" බවත් ඔහු එහි වැඩිදුරටත් අවධාරණය කරනවා.

ව්‍යාපාරිකයන් විනාශ වූ පසු රජයට බදු අය කර ගැනීමට කිසිවක් ඉතිරි නොවනු ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

බදු දැල පුළුල් කිරීම, අනුපාත ඉහළ දැමීම සහ බදු නීති දැඩි කිරීම එකවර සිදු කිරීම මගින් සමස්ත ආර්ථිකයම දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔහු සිය පණිවිඩය මගින් වැඩිදුරටත් කියා සිටිනවා.