පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඔවුන් මෙම ජයග්‍රහණය ලැබූයේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි සත්කාරක පකිස්ථාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

පකිස්ථානයේ ලාහෝර්හිදී මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 110ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ඩිල්ෂාන් මධුශංක ලකුණු 34ට කඩුලු 5ක් දවා ගත්තා.

සහන් ආරච්චිගේ ලකුණු 24ට කඩුලු 2යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජය ගැනීමට ලැබුණු ඉලක්කය ලකුණු 111ක්.

පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් ඔවුන් තරගය ජය ගත්තා.

සාර්ථක පිතිහරඹයක යෙදුණු කමිදු මෙන්ඩිස් පන්දු 60දී නොදැවී ලකුණු 62යි.

හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඊට ඇතුළත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරඟාවලියේ අවසන් තරඟය සඳහාද සුදුසුකම් ලබා ගත්තා.

පකිස්ථානයද අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබෙනවා.