පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරි බවට සහ තවත් චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ලබන ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළා.

මෙම නඩුව විභාගයට ගැනෙන්නේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු වමඩුල්ල හමුවේයි.

නඩුව අද කැදවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා සිය වාචික දේශන අවසන් කළා.

එහිදී ඉදිරිපත් වූ කරුණුද සලකා බලමිනුයි විනිසුරු මඩුල්ල නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවට දින නියම කළේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරි බවට සහ තවත් චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය ද ඉකුත් සිකුරාදා අවසන් කෙරුණා.

එහි තීන්දුව ද ලබන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමටයි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය දින නියම කර ඇත්තේ.