මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අධිකරණයේ සිට දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉන් අනතුරුව සිරකරුවන් ලෙස ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ ලියාපදිංචි කර තිබෙනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඩුවම නියමූවන්ට නියම කරන සරම සහ කබාය නිකුත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුව ඔවුන් දෙදෙනා වැලිකඩ වාට්ටුවක රැඳවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු ඊයේ මරණ දඬුවම නියම කළා.




