දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය අද අලුයම සිට නතර වී තිබෙනවා.
ඇතැම් මාර්ගවල කිසිදු පෞද්ගලික බස් රථයක් ධාවනය වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
කෙසේවෙතත් ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබෙනවා.
එම බස් රථවලද අධික ලෙස මගීන් ප්‍රවාහනය කෙරෙන ආකාරයක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
බස් රථ අඩුවීම හේතුවෙන් අද අලුයම සිට බොහෝ මාර්ගවල මගී ජනතාව බස් රථ නැවතුම්වල රැදි සිටින ආකාරයද දක්නට ලැබුණු බවද නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ඩීසල් මිල ඉහළ යාමත් සමඟ වර්තමාන බස් ගාස්තුව සියයට දහයකට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා.
ඒ අනුව අද පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමදි මෙම යෝජනාව සදහා අනුමැතිය ලැබෙනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.
මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසුවේ අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ නව බස් ගස්තු ප්‍රකාශයට පත් කරන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවිමක් ඇති විය හැකි බවයි.
මේ අතර රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20 කින් ඉහළ දමන ලෙස ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.




