නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට අදාළ කොබෙයිගනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ එලෙස තහනම් කර ඇති බවයි.

කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේ ඉඩමකින් පොල් කැඩූ පුද්ගලයෙකු පසුගිය 26 වනදා දහවල් ගම්වාසින් විසින් අල්ලා ගස් බැද පහරදී තිබෙනවා.

ඉන් පසු සැකකරු කොබෙයිගනේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

පොලිස් භාරයේ සිට සැකකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 27 වනදා දහවල් කාලයේදි බව වාර්තා වුණා.

කෙසේවෙතත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ එම සැකකරු එදින රාත්‍රියේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව පොලිස් භාරයේ සිටි අදාළ සැකකරු කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් කොබෙයිගනේ පොලිස් ස්ථානයේ එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අදාල සැකකරුට පහරදුන් බවට පසුගියදා අත්අඩංගුවට ගත් ප්‍රදේශවාසීන් සිව් දෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.