වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසකට යාබදව පැවති බක්මහ උළෙලකදී සිදුව තිබු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලබා සිටි මාලිගාවත්ත පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඒ, ඔහු කරාපිටිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අප්‍රේල් මස 16 වන දින පැවති බක්මහ උළෙල අවසානයේ එම ස්ථානය පිරිසුදු කරමින් සිටියදී අදාල සැරයන්වරයාගේ සහෝදරයාට පිරිසක් පහරදෙන බවට ලද තොරතුරකට අනුව ඔහු මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ තිබුනා.

එහිදී තම සහෝදරයට තියුණු ආයුදයකින් පහරදෙනු දුටු විගස ඔහු එම ස්ථානයට පැමිණිමත් සමග ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ අයකු පොලිස් සැරයන්වරයාටද තියුණු ආයුදයකින් පහර දී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකටද භාජනය කෙරුනා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය මහ රෝහල වෙත මාරුකර යැවුනා.

එහි ප්‍රතිකාර ලබමින් සිටි සැරයන්වරයා ඊයේ දිනයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රභාත් නමැති 46 හැවිරිදි තිදරු පියෙක්.

පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු අද දින පොලිස් ආචාර ගෞරව මැද සිදු කිරීමට නියමිතයි.