බන්ධනාගර නිලධාරීන්ගෙන් මිදී පලාගිය හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඇති වූයේ යැයි බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරුව පසුගිය 26 වනදා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි සැකකරු ඊයේ අලුයම රෝහලෙන් පලාගොස් තිබෙනවා.
හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු බගවන්තලාව පෙට්රසෝ වතුයායේ සැගව සිටියදී දැඩි පරිශ්රමයක් දරා බගවන්තලාව සහ හැටන් පොලිස් නිළධාරින් එක්ව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණේ.
ඔහු තම බිරිදගේ ණය මුදලක් ගෙවීම සදහා බිරිදගේ බලපෑම මත මෙම ඝාතනය සහ සොරකම සිදු කළ බව පොලිස් ප්රශ්ණ කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
තමන් එම තත්වයට පෙළඹ වූ බිරිදව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවටත් සැකකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එවන් පසුබිමක් තුළ ඔහුගේ බිරිද ද බගවන්තලාව පොලිසිය වෙත කැදවා තිබුණා.
මේ අතර අදාළ සැකකරු පළමු අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුට පල කර එම පොලිස් නිලධාරීන් හැටන් ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි ප්රදීප් වීරසේකර මහතා ඉදිරියේ කේක් කපා සතුටද පල කර තිබුණා.




