ප්රංශයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නැවත වරක් ප්රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබෙනවා.
මෙම උද්ඝෝෂණ අතරතුර ඊයේ දිනයේ පමණක් 1, 000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
මේ පිළිබඳ ප්රතිචාර දක්වමින් ප්රංශ ස්වදේශ කටයුතු අමාත්යංශය පැවසුවේ හඳුනාගත් තවත් පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවයි.
ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින දුර්වල පහසුකම්වලට එරෙහිව ලක්ෂ සංඛ්යාත පිරිසක් වීථි බැස මෙලෙස උද්ඝෝෂණවල යෙදී සිටිනවා.
ප්රංශ ස්වදේශ කටයුතු අමාත්යාංශයට අනුව ඊයේ පැවති මෙම උද්ඝෝෂණවලට ලක්ෂ 4කට වැඩි පිරිසක් සහභාගී වී සිට තිබෙනවා.
කෙසේවෙතත් උද්ඝෝෂණ මෙහෙයවන කණ්ඩායම් පවසන්නේ ලක්ෂ 8ක පමණ පිරිසක් ඊයේ උද්ඝෝෂණවලට එක් වූ බවයි.
උද්ඝෝෂණ අතරතුර ප්රදේශ කිහිපයක නොසන්සුන්තා ඇති වී තිබෙනවා.
ඉකුත් සති අන්තයේද උද්ඝෝෂණ අතරතුර ප්රංශයේ මෙලෙසම නොසන්සුන්තා ඇති වූ අතර එහිදී සිදු වූ පරිදි විශාල ලෙස දේපළ හානි සිදු වීම වළක්වා ගැනීම සඳහා සඳහා පොලිස් නිලධාරීන් 70,000ක් වැඩි පිරිසක් ඊයේ විශේෂ මෙහෙයුම් සඳහා යොදවනු ලැබ සිටියා.
මෙහෙයුම්වල යෙදී සිටි පොලිස් කණ්ඩායම් සහ උද්ඝෝෂකයන් අතර ගැටුම්වලදී අවම වශයෙන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්ය පැවසුවේ.
ප්රංශ අගනගරය වන පැරිස් හිදී සාමකාමී පාගමනක් අවසානයේ උද්ඝෝෂකයන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුම් ඇති වී තිබෙනවා.
උද්ඝෝෂකයන් එහිදී තාවකාලික මාර්ග බාධකද පෙරලමින් පොලිසියට පහරදී ඇති අතර, මෝටර් රථ අලෙවිසැලක වීදුරු කඩා දැමූ තරුණයින් පිරිසක් පලවා හැරීමට පොලිසිය බැටන් ප්රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වන්නේ.
මෙහිදී ඇතිවූ ගැටුම් පාලනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ සහ ත්රස්ත මර්දන විශේෂ පොලිස් ඒකකයක්ද කැඳවා තිබෙනවා.
මාර්සෙයි (Marseille) නගරයේදී කසළ බඳුන්වලට ගිනි තබා ඇති අතර මාර්ග අවහිර කිරීමට ලෝහ තහඩු ද යොදාගෙන තිබුණු බවයි විදෙස් මාධ්ය කියා සිටියේ.
බෝඩෝ (Bordeaux) නගරයේදී කළු පැහැති ඇඳුම් සහ මුහුණු ආවරණය කරගත් උද්ඝෝෂකයන් ගොඩනැගිලිවල කොටස් ගලවා මාර්ග අවහිර කර තිබෙනවා.
ලියොන් (Lyon) නගරයේදී තහනම් කලාපයකටද උද්ඝෝෂකයන් ඇතුළු වී තිබෙන බවයි විදෙස් මාධ්ය වාර්තාවල දැක්වෙන්නේ. මෙහිදී පාසල් සහ විශ්වවිද්යාල සිසුන් ඇතුළු 150ක පමණ පිරිසක් පලවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබෙනවා.
මේ පිළිබඳ ප්රතිචාර දක්වමින් ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් නියෝග කර තිබුණේ පිළිගත් වෘත්තීය සමිති මගින් සංවිධානය කරන උද්ඝෝෂණවලට පමණක් අවසර හිමිවන බවයි.
එසේ තිබියදී ඉකුත් දිනවල සිදු වූ දේපළ හානි සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් සිය ගණනක් පිරිසක් ඉක්මන් අධිකරණ නඩු විභාගවලින් පසු බන්ධනාගාරගත කර තිබෙනවා.
කෙසේවෙතත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් හමුවේ වුවද සිය විරෝධතා නතර නොකරන බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.
අධික බදු සහ ජීවන වියදම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, රජය තමන්ව අමතක කර දමා ඇති බවත් ඔවුන් කියා සිටියා.
ඒ අනුව, තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් මෙම විරෝධතා අවසන් නොවන බවයි ඔවුන් පවසන්නේ.
ප්රංශය පුරා මෙලෙස උද්ඝෝෂණ තීව්ර වෙමින් තිබෙන්නේ තවත් මාස හයකින් එරට ජනාධිපතිවරණයද පැවැත්වීමට නියමිතව තිබියදී.
මේ අතර ඉතාලිය, බෙල්ජියම සහ ඇල්බේනියාව ඇතුළු තවත් රටවල් කිහිපයකද මේ වන විට මෙලෙස මහජන උද්ඝෝෂණ සිදුවෙමින් තිබෙනවා.




