කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් ”යක්කල නාමල්” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙන විත් නාවලපිටිය ගිනිගත්හේන ගම්පොළ ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම් කුලතුංග මහතාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව නාවලපිටිය ජයසුන්දර පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදීයී.

එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 2,450 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 38 ක් වන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා තවත් පුද්ගලයන්ද යොදාගෙන ඇති බවයි.

ඒ අනුව 27 හැවිරිදි එක් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වෙළඳසැලක සහයකයෙකු ලෙස සේවය කරන්නෙක්.

සැකකාර කුලී ත්‍රීරෝද රථ රියදුරා දින තුනකට වරක් කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් ලෝකේෂන් ක්‍රමයට ඒවා බෙදාහැරීම සදහා තවත් කිහිප දෙනෙකු වෙත භාරදී තිබෙනවා.

ඒ සදහා කුලී රථ සේවා ගාස්තුවට අමතරව එක් ගමන් වාරයක් සඳහා ත්‍රීරෝද රථ රියදුරාට රුපියල් 15, 000හේ සිට 20,000 දක්වා මුදලක් ලැබි ඇති බවද පොලිස් විමර්ශනවලදි වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.