ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනෙකු පැළඳ සිටි රුපියල් ලක්ෂ 17 ක පමණ වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු මේ මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මියගේ නියෝගයකට අනුවයි.
යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනාට මත්වන සුළු බීම වර්ගයක් පානය කිරීමට ලබාදී සිහිසුන්කොට සැකකරු විසින් එම රන් භාණ්ඩ කොල්ලය සිදු කර තිබුණා.

සැකකරු විසින් දිවයිනේ තවත් විවිධ ප්‍රදේශවල සිදුකර ඇති බව කියන මෙවැනි සංවිධානාත්මක ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා එම විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර මුලස්ථාන පොලිසියට නියෝග කළේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සාලියවැව යාය 07, අල්පෝන්සු ප්‍රනාන්දු මාවත ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියා සිටියේ පසුගිය අලුත් අවුරුදු සමයේ දිනයකදී අනුරාධපුරයේ සිට ඇල්ල මාර්ග ඔස්සේ කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පිටුපස අසුනේ පැමිණිලිකාර කානාතාවන් තිදෙනා සහ මෙම සැකකරු ගමන් කොට ඇති බවයි.

එහිදි තමන් නාවික හමුදාවේ සේවය කරන නිලධාරියෙකු බව අදාල කාන්තාවන්ට තමන් හදුන්වාදී ඇති සැකකරු පසුව ඔවුන් සමග හිතවත්කමක් ගොඩනගා ගෙන ඇති බවද කියා සිටි පොලිසිය පසුව සැකකරු ඔවුන්ට කෙටි ආහාර වර්ගයක් කෑමට ලබාදී පසුව බීම වර්ගයක් පානය කිරීමට ලබාදී ඇති බවද කියා සිටියා.

සැකකරු ලබාදුන් බීම වර්ගය පානය කිරීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනාම සිහිසුන් වු පසුව සැකකරු එම කාන්තාවන් ගෙල බැද සිටි රණ්භාණ්ඩ සියල්ල පැහැරගෙන බසයෙන් බැස පලාගොස් ඇති බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය සිහිසුන් වු කාන්තාවන් තිදෙනා රෝහල්ගත කර ඇති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
සිසිටීව දර්ශන ඔස්සේ මේ පිළිබදව කඩිනම් විමර්ශනක් ඇරඹු බවද සදහන් කළ පොලිසිය ඒ අතර වාරයේ සැක කටයුතු හෝටලයක් පරීක්ෂා කිරීමේදී සැකකරු වෙනත් කාන්තාවක් සමග අදාල හෝටලයේ කාමරයක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද කියා සිටියා.

සිහිසුන්වීම නිසා රෝහල්ගත කළ කාන්තාවන්ට සැකකරු විසින් පානය කිරීමට ලබාදී ඇති මත්වන සුළු පානය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා මගින් වාර්තාවක් කැඳවීමට පැමිණිලිකාර කාන්තාවන් ප්‍රතිකාර ලබන රෝහල මගින් කටයුතු කරමින් පවතින බවද පොලිසිය පැවසුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සැකකරු වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොතිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.