රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා තම ආශිර්වාදය හිමිවන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

කෙසේවෙතත් එම කේබල් කාර් පද්ධතිය ”හැරමිටි පහන” දක්වා පමණක් සීමා විය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

මේ අතර 2025- - 2026 ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි මස 31 වනදායින් අවසන් වන බවද ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

මෙවර වන්දනා සමය තුළ පරිසර දූෂණය අවම කරගැනීමට හැකිවීම විශේෂත්වයක් බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.

2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් නල්ලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ, වෙසක් පුන් පෝය දිනට පසුදින එනම් මැයි 31 වනදා උදෑසන පූජාවෙන් අනතුරුව වන්දනා සමය නිල වශයෙන් අවසන් කරන බවයි.

එදින උදෑසන ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාවන් මාර්ග 4ක් ඔස්සේ පෙරහැරින් වැඩම කරවීමට නියමිතයි.

පළමු පෙරහැර රත්නපුර - පලාබද්දර මාර්ගය සහ කුරුවිට - එරත්න මාර්ගය ඔස්සේ ද දෙවන සහ තෙවන පෙරහැර නල්ලතන්නිය හරහා බගවන්තලාව - බලංගොඩ මාර්ගය සහ නල්ලතන්නිය - ලක්ෂපාන - අවිස්සාවේල්ල හරහා ද ගමන් කරනු ඇති.

මෙලෙස වැඩම කරවන දේව ප්‍රතිමාවන් සහ සධාතුක කරඩුව එදින රාත්‍රියේ පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ආගමික වතාවන් සිදුකිරීමෙන් පසු, අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තැබෙනවා.

මෙවර වන්දනා සමයේදී ”දිට්වා” සුළි කුණාටුවෙන් බාධා එල්ල වුවද එය සාර්ථකව නිමා කිරීමට හැකි වූ බව නාහිමියන් මෙහිදී සිහිපත් කළා.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ පරිසර දූෂණය අවම වීමයි.

සීත ගඟුලේ සිට ඉඳිකටු පාණ දක්වා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නිසා, වන්දනාකරුවන් පරිසරයට මුදාහරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය මෙවර විශාල වශයෙන් අඩු වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ලබන වසරේදී මෙම ජල ව්‍යාපෘතිය උඩ මළුව දක්වාම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවද සදහන්.