මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් ඇතුළට වෙඩි තැබූ බන්ධනාගාර නියාමකවරයා එම බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින්.
ඔහු මීගමුව බන්ධනාගාරය තුළට එලෙස වෙඩි තැබීම හේතුවෙන් පසුගිය දිනවල ඔහුට මරණ තර්ජන එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.
එම බන්ධනාගාරයේ රදවා සිටි ඇතැම් රැදවියන් මෙන්ම පිටත පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ද එලෙස මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව එම බන්ධනාගාර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
එම බන්ධනාගාරයේ ඇතුළත රාජකාරීවලට පමණක් ඔහු යොදා ගැනීමටයි තීරණය වී ඇත්තේ.
මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5 වනදා රැදවියන් පිරිසක් අතර පළමුව ගැටුමක් හටගත්තා.
එහිදී තුවාල ලැබූ රැදවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඉන් අනතුරුව ඊට පසු දින එනම් පසුගිය 6 වනදා යළිත් බන්ධනාගාරය තුළ ගැටුමක් හට ගත්තා.
එහිදී රැදවියන් විසින් නිලධාරීන්ටද අමානුෂික ලෙස පහරදී තිබුණා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක මෙන්ම රැදවියන්ද ඇතුළුව පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් සියයකට ආසන්න පිරිසක්ද එහිදි තුවාල ලැබුවා.
බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අදාළ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ, නිලධාරීන්ට ජීවිතක්ෂයට පත් වූ සිය සගයන්ට අවසන් ගෞරව දැක්විම සදහායි.
එම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද මහතා ද එක්ව සිටියා.
එහිදී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හැඩූ කදුළුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මීගමුව බන්ධනාගාර කවුළුවෙන් වෙඩි තැබූ සිය සහෝදර නිලධාරියා ආරක්ෂා කරන ලෙසයි.
එදින සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සිය ජීවිතයද පරදුවට තබා ඉදිරිපත් වූ එම බන්ධනාගාර නියාමකවරයාට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසද එම බන්ධනාගාර නිලධාරීන් එහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් සහ රැඳවියන් සිහි කර ඔවුන්ට පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදීයි.
එහිදී මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන්ට සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද සිදු වුණා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.




