ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව සිදුනොකරන්නේ නම්, පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ලාෆ්ස් සිලින්ඩර් සඳහා ලිට්රෝ ගෑස් ලබාදීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාක් පවත්වා ඇති බවට වාර්තා වනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොකරමින් සිය සේවාවන් ජනතාවට ලබාදීම එම ආයතනයේ වගකීම බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.
පාරිභෝගිකයන්ට එම සමාගම ලාෆ්ස් ගෑස් නිකුත් නොකරන්නේ නම් එම හිස් සිලින්ඩර්වලට මුදල් නැවත එම ජනතාවට ලබා දිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
"ගෑස් සිලින්ඩරයකට රුපියල් 14,000 - 15,000 ක් දැන් අය කරනවා. දැන් මේ වෙනකොට 12,500 ක් අය කරනවා. ඉතින් ගෑස් සිලින්ඩරයකට ඩිපොසිට් එකක් තියාගන්නවා නම් සමාගම, අනිවාර්යෙන් ගෑස් ගෙනත් දෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි මේ ආයතනයල් එක්ක, මේ ලාෆ්ස් ගෑස් සමාගමත් එක්ක උපරිමයෙන් සාකච්ඡා කළා. ඒ අයට අමතරව ඒ අය දිගටම ප්‍රශ්නයක් හැටියට මතු කරනවා, හම්බන්තොට ඒගොල්ලන්ගේ ගෑස් ටර්මිනල් එකේ තියෙන ගෑස් දේශීය වෙළඳපොළට නිදහස් කරන්න දෙන්න කියලා. මේකේ තියෙන්නේ BOI ඇග්‍රීමන්ට් එකක්, 80% ක් ඒගොල්ලන්ට අපනයනය කරන්න ඕනේ, 20% ක් වෙළඳපොළට දාන්න පුළුවන්. හැබැයි දැන් ඒගොල්ලෝ ඉල්ලන්නේ ගේන 3,800 ම වෙළඳපොළට දාන්න දෙන්න කියලා. ඒත් කමක් නෑ කියලා රජය දැන් ඒගොල්ලන්ට කිව්වා එහෙනම් හම්බන්තොට ගෑස් ටර්මිනල් එක හදන්න ඕගොල්ලන්ට දුන්න බදු සහනය, ඒ බදු සහනයත් ගෙවලා 100% ම වෙළඳපොළට දාන්න අවශ්‍ය කරන ලිපිය නිකුත් කරා. හැබැයි තවදුරටත් මේ අය කරන්න හදන්නේ මේ රැවටීම නම්, ඔක්තොම්බර් මාසේ 20-28 අතර ගෑස් මැට්රික් ටොන් 3,800 ක් එනවා කියලා, ඒක ආවේ නෑ. ඉතින් ඒ නිසා තවදුරටත් පාරිභෝගිකයා රැවටීම මේ සමාගම හිතාමතා කරනවා. පාරිභෝගිකයාට දැන් අවස්ථාව තියෙන්න ඕනේ එහෙනම් ඒගොල්ලෝ සිලින්ඩරය අරන් රුපියල් 12,500 අපිට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියන්නේ එතකොට පාරිභෝගිකයාට පුළුවන් ගිහිල්ලා නිල් පාට සිලින්ඩරයක් අරන් ගෑස් අරන් යන්න. ඒ නිසා දැන් දිගටම මේ කොම්පැනියක් එහෙම කරනවා නම්, පාරිභෝගිකයා රවට්ටනවා නම්, ඒකට එක පැත්තකින් ගෑස් වෙළඳපොළට සැපයුම අපි ලිට්රෝ ගෑස් එක හරහා කරන ගමන්, අනිත් පැත්තෙන් ගෑස් සමාගම කරන මේ වංචාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරලා තියෙනවා."
එමෙන්ම ලිට්රෝ ගෑස් හිගයක් මේ වනවිට රට තුළ නොමැති බවත් දෛනික ගෑස් පරිභෝජනයට වඩා වැඩි සිලින්ඩර් සංඛ්‍යාවක් මේ වන විටත් වෙළඳපොළට නිකුත් කරන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.
"නිල් පාට සිලින්ඩරයේ දැන් අඩුවක් නෑ. නිල් පාට සාමාන්‍යයෙන් දවසකට මැට්රික් ටොන් 1,200 ක් විතර දැන් අපි නිකුත් කරනවා. මාසයකට මැට්රික් ටොන් 32,000 ක් නිකුත් කරන්න ඕනේ අපි, මාසයකට මැට්රික් ටොන් 39,000 ක් මේ මාසේ නිකුත් කරනවා. ලබන මාසෙට මැට්රික් ටොන් 41,000 ක් අපි ඕඩර් කරලා තියෙනවා. හේතුව තමයි මාසයකට මැට්රික් ටොන් 6,000 ක් සම්පාදනය කරන ලාෆ්ස් ගෑස් සමාගම දැන් මාසයක් තිස්සේ ඉඳන් මේ සැපයුමට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ නිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය නොකර, ගෑස් නෑ කිය කිය ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි නිල් පාට ගෑස් සිලින්ඩරයට, ලිට්රෝ ගෑස් එකටත් මේ තෙරපුම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ලිට්රෝ ගෑස් එක වෙනදා සම්පාදනයට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිදහස් කරනවා. මැට්රික් ටොන් 39,000 ක් නිදහස් කරන්න අවශ්‍ය කටයුතු දැන් කරලා තියෙන්නේ. ඒ නිසා ටොන් 7,000 ක් පමණ වැඩිපුර නිදහස් වෙලා තියෙනවා. ඉතින් අපි පාරිභෝගික ජනතාවට කියන්නේ, නිල් පාට ගෑස්වල කිසිදු ප්‍රශ්නයක් නෑ. අපි ලබන මාසෙට මැට්රික් ටොන් 41,000 ක් අපි ඕඩර් කරලා තියෙනවා. ඒ ටික අපිට එනවා. ඒ නිසා නිල් පාට ගෑස්වල ප්‍රශ්නයක් නෑ."




