ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට යෙදී තිබෙනවා.

මෙම උත්සවය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස  සැලකෙනවා.

විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කර යහපත හා ආලෝකය ජයග්‍රහණය කිරීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ එක් අරමුණක් වනවා.

අඳුර දුරු වී ආලෝකය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරනු ලබනවා.

නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන දීපාවලී උත්සවය තුළින් අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කෙරෙනවා.

මේ අතර, අද (08) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා හෙට දින විශේෂ නිවාඩුවක් ලබාදීමට අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම නිවාඩුව වෙනුවෙන් අහිමි වන පාසල් දිනය ආවරණය කිරීම සඳහා මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතයි.