ලෝක අලි ඇතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
පරිසරණ පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන, අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම වෙනුවෙන් මුළු මහත් ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.
ආසියානු අලියා යනු හුදෙක් ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා පමණක් නොව සමස්ත පරිසර පද්ධතියේම පැවැත්ම තීරණය කරන අද්විතීය සත්ව විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.
ඒ අනුව අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම යනු සමස්ත ජෛව විවිධත්වය, ස්වභාවික පරිසර පද්ධතිය, සංචාරක කර්මාන්තය, ලෝක ආර්ථිකය මෙන්ම අනූපමේය සංස්කෘතික දායාද එක ලෙස සුරැකීමක් ලෙස සැලකිය හැකියි.
සිය වාසස්ථාන අහිමිවීම අලි ඇතුන් මුහුණදෙන ප්රධානත්ම අභියෝගයක් ලෙස සැල්කෙන අතර අලි මිනිස් ගැටුම උග්‍ර වීමටද එය බලපා තිබෙනවා.
වන අලින් කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නිසි සැලැස්මක් නොතිබීම මෙම තත්වය උග්‍ර වීමට හේතු වී ඇති බවයි පරිසර අමාත්‍යංශයේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.
2024 වසරේ සිදු කරන ලද වන අලි සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වන අලි සංඛ්‍යාව 7,451ක් පමණ වනවා.
මෙම වන අලි සම්පත සංරක්ෂණය කිරීම මෙන්ම ඔවුන්ගේ වාසස්ථාන, ආහාර හා ජල සම්පත් සහ ස්වභාවික සංක්‍රමණික මාර්ග සුරක්ෂිත කිරීම රජය හමුවේ ඇති ප්රමුඛ පාරිසරික වගකීමක්.
එමෙන්ම අලි-මිනිස් ගැටුම මේ වන විට වනජීවී සංරක්ෂණයට පමණක් සීමා වූ ගැටලුවක් නොව, ජන ජීවිතය, ග්‍රාමීය ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි සෘජුව බලපාන ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
වර්තමානයේ පවතින තත්ත්වය අනුව අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 100-150ක් පමණ අහිමි වන අතර, වන අලි 350-400ක් පමණ මියයන බවට වාර්තා වී තිබෙනවා.
මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළයි අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇත්තේ.
අලි-මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවල ගැටලු එකිනෙකට වෙනස් වන බැවින්, ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සමඟ ප්‍රාදේශීය මට්ටමේ විසඳුම් ද ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනවා.
ඒ අනුව අලි-මිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටු පිහිටුවා ඇති අතර එම කමිටු හරහා එක් එක් ප්‍රදේශයේ පවතින භූගෝලීය, සමාජීය, කෘෂිකාර්මික හා වනජීවී සම්බන්ධ ගැටලු හඳුනාගෙන, අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ප්‍රාදේශීය මට්ටමේ කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ.




