වත්තල, පල්ලියවත්ත ප්රදේශයේ ඊයේ රාත්රි සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ප්රසාද් රුවන් නොහොත් මෝදර කුඩු රොශාන් නැමැත්තාගේ සමීපතමයෙකු වන එච්.මහේශ් මදුසංක නොහොත් වනාත මුල්ලේ සුමේධ නමැත්තා බව පොලීසිය පැවසුවා.
ඔහු බොරැල්ල, සිරිසර උයන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පල්ලියවත්ත ප්රදේශයේ හෝටලයක පැවැති කුඩු රොෂාන් නමැත්තාගේ සහෝදරයාගේ දියණියගේ උපන් දිනය සාදයට මෙම පුද්ගලයාද පැමිණ තිබෙනවා.
එහිදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ කුඩු රොෂාන් නමැත්තා බවට ද අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් එම වෙඩි ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩු රොෂාන් නමැත්තාගේ සමීපතමයා බවයි පොලීසිය පැවසුවේ.
පිස්තෝල වර්ගයේ අවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු පලා ගිය සැකකරුවන් ඔවුන් පැමිණි කළු පැහැති මෝටර් රථය ජාඇල අධිවේගී විසිසුම් මාර්ගයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
මේ අතර දෙමටගොඩ, සිරිධම්ම මාවතේ සුසාන භූමිය ඉදිරිපිටදී ඊයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වනාතමුල්ල දුමින්දගේ සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.




