2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් දිවයිනේ සියළු දේවස්ථානවල අද පෙරවරුවේ දේව මෙහෙයන් සිදු කෙරුණා.

ඒ, පෙරවරු 8:45 ට ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් සියලු දෙව් මැදුරුවල සීනු නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වමින්.

එහි ප්‍රධාන සිහිකිරීමේ වැඩසටහන අද පෙරවරුවේ සිදු කෙරුණේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ එක් ඉලක්කයක් බවද පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදීයි.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු හිමියන් පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සදහා වත්මන් ආණ්ඩුව සුබදායි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ඒ අනුව දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග වත්මන් රජය විසින් ඉදිරියටත් ගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 07ක් සපිරෙන අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පැවති මියගිය පිරිස සිහි කෙරෙන ප්‍රධාන වැඩසටහන සදහා අනෙකුත් ආගම් නියෝජනය කරමින් ද පූජ්‍ය සහ පූජක පිරිස් සහභාගි වුණා.
පාස්කු ඉරුදින එල්ල වූ එම මිලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත 275 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වුණා.

එමෙන්ම තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.

ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පැවැත්වෙන යැදුම් පාගමනක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ අනුව පස්වරු 4:00 ට මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩාංගනයෙන් ආරම්භ වන එම පා ගමන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.