2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමුන් ඇතුළත්වීමේ දෙවන වටයේ අභියාචනා භාරගැනීම අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, 2026 අද සිට මැයි 29 දක්වා අභියාචනා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3 ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
අදාළ කාලසීමාව තුළ පමණක් අභියාචනා භාරගන්නා බැවින්, සුදුසුකම්ලාභී සිසුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් නියමිත කාලය තුළ අයදුම්පත් යොමු කළයුතු වනවා.
මේ අතර පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් අද වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පැවසුවේ.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දැමෙනවා.




