කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කළ අඛණ්ඩ සත්යග්රහයේ 9 වන දිනය අදයි. සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එම විරෝධතාවයේ නිතරව සිටිනවා.
පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ තවදුරටත් රැදි සිටිනවා.
පසුගියදා පොලිසිය එම ස්ථානයට පැමිණිමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එහිදී පොලිස් නිලධාරීන් ලබාගත් අධිකරණ නියෝගයක් භාරදී එම ස්ථානයෙන් පිටව ගියා.
ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි මෛත්රී ගුණරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කළා.
කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුනු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ප්රකාශ කළේ කොළඹ ,විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසල අඛන්ඩව රැඳී සිටීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය වෙනස් නොකරන බවයි.
මේ අතර විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහය පැවැත්වෙන ස්ථානයට මෛත්රී ගුණරත්න මහතා අද උදැසන පැමිණියා. ඉන් අනතුරුව අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ඔහු මාධ්ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
"ඒ සත්යාග්රහ නවත්තන්න කාටත් බලයක් නෑ. එහෙම තීන්දුවක් දීලා තිබුණා නම් එහෙම, ඊයේ පැයක් ඇතුළත පොලිසිය ඇවිල්ලා මේක අයින් කරන්න පොලිසියට ඕන තරම් අවස්ථාව තිබුණා. ඉතින් ඒක නිසා, මේ බොරු ප්රකාශවලට රැවටෙන්න එපා.අනිත් එක, මේ රටේ බෞද්ධ ආගම ආරක්ෂා කරන්න ඕනේ කියන එක ව්යවස්ථාවේ... නමවන ව්යවස්ථාවේ පැහැදිලිව ප්රකාශ කරලා තියෙනවා. මේ භික්ෂූන් වහන්සේලාට තියෙන ප්රශ්නය තමයි, බෞද්ධ ආගම මේ වෙනකොට ආරක්ෂා වෙනවාද කියන ප්රශ්නය. ඉතින් ඒ වෙනුවෙන් යම්කිසි විරෝධතාවයක්, සත්යාග්රහයක් කරන එක කාටත් හානියක් නැතුව කරන එක කාටත් ප්රශ්නයක් වෙන්න බෑ. මේවා අයින් කරන්න අවශ්යතාවයක් නෑ. මම ගරු අධිකරණයට ඊයේ පැහැදිලිවම ප්රකාශ කරා, මෙතන පොලිසියෙන් ඇවිල්ලා තමයි අනවශ්ය ප්රශ්න ඇති කරන්නේ. පොලිසියට ආරක්ෂාව දෙන්න පුළුවන්, අපි එපා කියන්නේ නෑ. නමුත් මෙතන ඉන්න භික්ෂූන් වහන්සේලා, මෙතනට එන ජනතාව සද්භාවයෙන් ඇවිල්ලා ඒ දානමාන කටයුතු කරලා, මේ ස්වාමීන් වහන්සේලාට, බෞද්ධ ආගම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ කරන සත්යාග්රහයට සහයෝගය දෙන්න කටයුතු කරනවා. මේ කරන්න හදන්නේ මොකක්ද? සමහරක් උදවිය කරන්න හදන්නේ මොකක්ද? මේක තහනම් කරලා තියෙන්නේ, මේක කරන්න බැහැයි කියන එක. තහනම් කරලා තියෙනවා නම්, පොලිසියේ OIC මහත්මයත් හිටියා ඒ උසාවියේ හිටියා. නීතිපතිතුමාත් හිටියා, උසාවියට ආවා. මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාත් ආවා උසාවියට. නීතිපතිතුමාත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ තර්ක විතර්ක ගේන්න හැදුවා. නමුත් මහේස්ත්රාත්තුමා කිව්වා, මහේස්ත්රාත්තුමාටවත් මේක අයින් කරන්න බලයක් නැහැ. මේක හැබැයි නීත්යානුකූලව, පොදු දේපළ ආරක්ෂා කරගෙන, හානි නොකර වැඩකටයුතු කරගෙන යනවා නම් කිසිම ප්රශ්නයක් නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ."




