සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුවන බව කියන තවත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දුෂණ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතා විසින්.
"සිවිල් ගුවන් සේවා අධිකාරියේ වත්මන් අධ්යක්ෂ ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා අනීතිකව නිල වාහනයක් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ රජය බලයට පත් වුණේ එවැනි දේවල් සිද්ධ වෙන්න නෙවෙයි. මොකද පසුගිය රජයන්වල අපිට පෙර වැරදි තිබෙනවා. ගොඩක් එවැනි දේවල් සිද්ධ වෙලා. නමුත් ඒ හැම දෙයක්ම අවසන් කරන්න තමයි අපි මේ රජය බලයට ගෙනාවේ. ඉතින් මේ රජය යටතෙත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා නම්, අපි ඒ ගැන අනිවාර්යයෙන්ම අදාළ අංශ වෙත දැනුවත් කළ යුතුයි. විශේෂයෙන් මම කියන්න කැමතියි මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජෙනරාල්වරයාට විරුද්ධව පැමිණිලි ගණනාවක් මම විවිධ අංශවල යොදලා තිබෙනවා. ඒ පරීක්ෂණයන් බහුතරයක් අද විභාග වෙමින් පවතිනවා. ඉතින් එවන් වටපිටාවක මට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා මෙතුමාගේ මේ නිල රථය සාපරාධී ලෙස පරිහරණය කරලා තිබෙනවා, අන්සතු කරලා තියෙනවා. ඉතින් ඒ ගැන සොයන්න විගණකාධිපතිතුමියගේ නියෝගයෙන් විගණන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ගියා. මොහු ඔවුන්ටද බැණ වැදී තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පුලුල් විමර්ශණයක් සිදුවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
''ඉතාම බැගෑපත් වෙලා ඉල්ලා සිටිනවා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න. මේ වාහනය කොහෙද තිබුණේ, මන් දන්න විදිහට මේ වාහනය සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයෙන් මීට අවුරුදු එකහමාරකට විතර පිටවුණාට පස්සේ ඊයේද පෙරේදාද පරික්ෂණය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කරද්දි තමයි වාහනය ගෙනැල්ලා ගාල් කළේ. නමුත් මේ වාහනය කොහෙද තිබ්බේ කියන එක අපි හොයන්න ඕන. මේ වාහනය කවුද පාවිච්චි කළේ කියන එක හොයන්න ඕන. අපි දන්නවා ගිය ආණ්ඩුවල අමාත්‍යාංශවල නිලධාරීන්, ඇමතිවරුන්, සමහර නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හොර අඹුවන්ට පවා රාජ්‍ය වාහන දීලා තිබුණා. නමුත් අපි හොයන්න ඕන මේ වාහනෙත් කොහෙද තිබුණේ, මේක එක්සියෝ (Axio) වර්ගයට අයිති ටොයෝටා වාහනයක්. මේ වාහනය කොහෙද තිබුණේ, මේ වාහනය කවුද පාවිච්චි කළේ කියන එක පූර්ණ විමර්ශනයක් කරන්න ඕන. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සභාභාගී වෙච්ච කණ්ඩායමට මැර බලය හෝ නිල බලය යොදලා ඔවුන්ට ලිපිගොනු ලබාදීම ප්‍රතික්ෂේප කරන්න මොහුට කවුද බලයක් දුන්නේ කියන එක අපි හොයන්න ඕන...
නමත් සඳහන් කරා? ඔව්, වගකීම ඒ කියන්නේ භාරගන්නවාද?
වගකීම් භාරගන්න හින්දා තමයි නම සඳහන් කළේ. එතුමාගේ විරුද්ධවනේ මම පැමිණිල්ල දාලා තියෙන්නේ. ඉතින් මේකේ මගේ නෝනාගේ නම කියන්න බැහැනේ, මේකේ තියෙන්නේ දමින්ද රඹුක්වැල්ල කියන නමට මම පැමිණිල්ල දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම මම වගකීම් භාරගන්නවා. එතුමා මට එන්තරවාසියක් යැව්වා ලක්ෂ 250ක් ඉල්ලලා, මම ඒකටත් උත්තර ඇරියා..."
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුවන බව කියන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථා ගණනාවකදී තොරතුරු අනාවරණය කළා.




