කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මාරු කෙරුණු රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වයට අදාළ වෛද්‍ය පරීක්ෂණ මේ වන විටත් සිදුකරමින් සිටින බව කොළඹ ජාතික රෝහල පවසනවා.

ඊට අදාළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඉදිරි දින කිහිපය තුළදී එහි වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ මහතා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය ජුනි 7 වනදා ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වනදා ඔහුට හෘද රෝගී තත්ත්වයක් හටගෙන තිබුණා.

ඒ අනුව සුරේෂ් සලේ මහතා වහාම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මාරු කිරීමට වෛද්‍යවරුන් පියවර ගනු ලැබුවා.