2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යලි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.
මෙම පෙත්සම අද අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී පෙරේරා මහතාට දැනුම් දුන්නේ අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව සෙසු වග උත්තරකරුවන්ට අවශ්‍ය නම් සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 21 වනදා කැඳවීමට ද නියම කළා.
පාරිසරික නීතිවේදියකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ 2025 වසරේ පෙබරවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකිරීමේ සිද්ධීන් වලට අදාළව එවක රජය විසින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා තිබෙන බවයි.
ඊට ඉකුත් රජයේ මැති ඇමතිවරු ගණනාවක් ඇතුළත් වන බවත් ඔහු සඳහන් කර තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
පවතින නීති රීති වලට අනුව ස්වාභාවික ආපදාවකදී වුවද සිදුවන හානි වෙනුවෙන් ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
ඒත් ඇතැම් හිටපු ඇමතිවරු එම නීතිමය සීමාව ඉක්මවා වන්දි මුදල් ලබාගෙන තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කළා.
මෙලෙස නීතිය ඉක්මවා රජය විසින් තෝරාගත් පුද්ගලයින්ට විශාල වන්දි මුදල් ගෙවීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සන්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
එවැනි විමර්ශනයකින් පසුව නීතිය ඉක්මවා වන්දි මුදල් ලබාගත් පුද්ගලයින්ගෙන් එම වන්දි යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඔවුන්ට හිමි විය යුතු වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා



