2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් බැවින් එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම අභියාචනා පෙත්සමේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම සඳහා එය විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව තුළ බෙදීමක් දක්නට තිබෙන බවයි.
ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම පිළිබඳ සුදුසු පියවර ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන ලෙසත් එම විනිසුරු මඩුල්ල නියම කළා.
ඒ අනුව අදාල අභියාචනය හෙට දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අධිකරණයේ පෙනී සිටියා.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාරකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
නඩුව විභාගය අතරතුරදි ආධාරකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන ලෙස අධිකරණය විසින් නියම කළා.
එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාල චෝදනාවලට වරද පිළි නොගත් අතර ඇය නඩු විභාගයකට මුහුණ දුන්නා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ නියම කෙරුණා.
එම සිර දඬුවමින් හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් අභියාචනාධිකරණයට මෙම ඇපෑල ඉදිරිපත් කළා.
මෙහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.



