දිවයිනම ආවරණය වන පරිදි කොළඹට ආ වෛද්‍යවරුන් මේ වනවිට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදි විරෝධතාවයේ නිරත වනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිය සාමාජිකයන් එලෙස විරෝධතාවයේ නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.
"මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය, ඒ වගේම වෛද්‍යවරුන් මුහුණ දීලා තියෙන ගැටලු ගණනාවක් තිබියදීත්, ඒ ගැටලු සම්බන්ධයෙන් අවබෝධයක් තිබියදීත් අපිට තාම පෙනෙන්නේ නැහැ අවංක වුවමනාවකින් යුක්තව සූදානමක් නැහැ. ජූලි මාසයේදී අයවැය ලේඛනය ඉලක්ක කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අයවැය යෝජනා පවා ලබා දීලා තියෙන පසුබිමක, අඩුම තරමින් මේ ප්‍රශ්න විසඳනවා පවා ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නවත් ජනාධිපතිතුමා හෝ අග්‍රාමාත්‍යතුමා හෝ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සූදානමක් නැහැ. ඒ නිසා අවසානයේ බැරිම තැන අද දිනයේදී අපිට සිද්ධ වෙලා තියෙනවා පාරට බහින්න. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලු ශාඛා සමිති, දිස්ත්‍රික්ක සහ පළාත් නියෝජනය කරමින් නියෝජිතයින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට ඇවිල්ලා තියෙනවා අපේ විරෝධතාවය දක්වන්න. මේ විරෝධතාවය ඇතුළේ අපි කියනවා වෛද්‍යවරුන්ට සිද්ධ කරලා තියෙන ආර්ථික අසාධාරණය විසඳන්න, අසාධාරණ ලෙස කප්පාදු කරලා තියෙන දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්න, වෛද්‍ය හිඟය විසඳන්න, සෞඛ්‍ය පද්ධතියේ තියෙන ප්‍රශ්න විසඳන්න කියන ඉල්ලීම තමයි අද දිනයේදී මේ දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන් මේ විරෝධතාවය හරහා සිද්ධ කරන්නේ."