ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඊට අනුමැති ලැබුණු වහාම පෞද්ගලික අංශයට මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වොල්බැචියා ව්‍යාපෘතිය ද වසර එක හමාරක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
"ඩෙංගු වැක්සින් එක සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කරමින් පවතින්නේ. ඒකත් රට තුළ පෞද්ගලික අංශයට මිලදී ගැනීම සඳහා පළවෙනි මොහොතේදීම කටයුතු කරන්න අපි අවස්ථාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ඉඳලා 'වොල්බැචියා' ව්‍යාපෘතියත් අවුරුදු එකහමාරක් සඳහා දියත් කරනවා. මේ සියලු දේවල්වලින් ඩෙංගු සැලකිය යුතු මට්ටමකට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."
මේ අතර මෙම වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
වාර්තා වී ඇති මරණ ගණන 61 ක්.
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප 175 ක් තවමත් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ.
මෙම මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 28,717 ක් වාර්තා වී ඇති බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පැවසුවා.




