අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වනවාද ? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව විපක්ෂය පවසනවා.

ඊයේ දිනයේ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කිරීමයි.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තුවට යනවාදැයි බොහෝ දෙනෙකු බලා සිටින කාරණයක්.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වනවාද ? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පෙරවරුවේ රැස්වී සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත් ඊයේ දිනය මෙන් අද දිනයේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට කතානායකවරයා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට රැස් වනවා.