දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම හේතුවෙන් ඉතා බරපතළ ලෙස හානි වූ සහ සාමාන්‍ය ඉදිකිරීම් යටතේ ඉදිකිරීමට අසීරු ස්ථාන 08ක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ සදහා පුරාවිද්‍යාඥයන්ගේ සහ බිතු සිතුවම් සංරක්ෂකයන්ගේ මෙන්ම වාස්තු විද්‍යාඥයන්ගේ දැනුම අවශ්‍ය වන බවයි හදුනාගෙන ඇත්තේ.

ඒ සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය වනු ඇතැයි අස්තමේන්තුගත කර තිබෙනවා.

මෙම කරුණු අනාවරණය වූයේ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයී.

ඊට එක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා පවසා ඇත්තේ ආපදා තත්ත්වය හමුවේ මෙරට දහසකට අධික ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබෙන බවයි.

එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු එම ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් මහා සංඝරත්නයේ සහ ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා සදහන් කලා.