රුසියානු ගුවන් ප්රහාර හමුවේ දැඩි අර්බුදයකට ලක්ව සිටින යුක්රේනය වෙත ඩොලර් බිලියන 2.1ක් වටිනා පැට්රියට් PAC-3 වර්ගයේ ප්රහාරක මිසයිල 500ක් ලබා ගැනීමට ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙම මිසයිල මිලදී ගැනීම සඳහා අවශ්ය සම්පූර්ණ මුදල යුක්රේනයේ මිත්ර පාක්ෂිකයන් වන කැනඩාව, ජර්මනිය සහ නෝර්වේ යන රටවල ආධාර සහ යුරෝපා සංගමයේ සහන ණය යටතේ සපයා ගැනීමට නියමිතයි.
මේ සඳහා ඇමෙරිකානු රජයේ කිසිදු අරමුදලක් වැය නොවන බවයි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම මිසයිල නිෂ්පාදනයේ ප්රධාන කොන්ත්රාත්කරුවා ලෙස ඇමෙරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගම කටයුතු කරනු ලබන බව විදෙස් මාධ්ය වාර්තා කළා.
රුසියානු බැලැස්ටික් මිසයිල සාර්ථකව විනාශ කළ හැකි එකම අවිය වන පැට්රියට් මිසයිල තොග කඩිනමින් ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි දිගින් දිගටම ඇමෙරිකාවෙන් ඉල්ලීම් කර තිබුණා.
එළඹෙන ශීත ඍතුව ඉලක්ක කරගනිමින් රුසියාව සිය බලශක්ති යටිතල පහසුකම් වෙත ප්රහාර තීව්ර කිරීමත් සමඟ සිය මිසයිල තොග දැඩි ලෙස අඩුවෙමින් පවතින බවයි සෙලෙන්ස්කි පෙන්වා දී ඇත්තේ.
කෙසේවෙතත්, ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ මෙම අනුමැතිය හිමිවුවද යුක්රේනයට මෙම මිසයිල කඩිනමින් හිමිවීමේ හැකියාවක් නැහැ.
ඊට හේතුවී ඇත්තේ පවතින සංචිතවලින් ලබාදෙනවා වෙනුවට නව මිසයිල නිෂ්පාදනය කර ලබාදීමට තීරණය කර තිබීමයි.
පැට්රියට් මිසයිලයක් නිෂ්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන අතර, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව වසරකට නිෂ්පාදනය කළ හැක්කේ මිසයිල 600ක් පමණයි.
එමෙන්ම ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ඇමෙරිකාවද විශාල වශයෙන් මෙම මිසයිල භාවිත කිරීම නිසා ලොව පුරා පැට්රියට් මිසයිල හිඟයක්ද නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
මෙම මිසයිල ගිවිසුම අනුමත වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ යුක්රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ මතභේදාත්මක සංවාදයකින් දින කිහිපයකට පසුවයි.
රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට නම් යුක්රේනයට නව නායකයෙකු පත්විය යුතු බවටද ට්රම්ප් එහිදී ප්රකාශ කර තිබුණා.




