කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනස් සැලැස්මක් ක්රියාත්මක කරමින් ඇති බව සමගි ජනබලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ කතානායකවරයාට එරෙහි චෝදනා බරපතල බවයි.
''මේ විවාදය 3 වෙනිදාට ගන්නේ නැතුව දින තුනක් ඉල්ලුවා. මුලින් කිව්වා එකක් දෙන්නම්, පුංචි කරලා, හොරතල් කරලා යවන්න කියලා. අපි ආණ්ඩුවට ඕන විදියට විශ්වාසභංග අරන් එන්නේ නැහැ. කථානායකට අපි කියනවා ඔබ මේ විශ්වාසභංගය ගන්නේ නැත්නම්, ඔබට ඔබගේ ධුර කාලය තුළම මේ චෝදනා 50ට දිනපතා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව රැස්වෙන හැමදවසකම, ඔබ ධුරයේ රැඳිලා ඉන්න හැමදවසකම මේ චෝදනා 50ට ඔබට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වය ඇති කරගන්න ඕන නම් අපිට කියන්න පුළුවන්. අපිට පේන විදියට මෙතන ආණ්ඩුව වෙන සැලැස්මක් තියෙනවා. විශ්වාසභංගය ඉදිරිපත් වෙච්ච වෙලාවේ කථානායකවරයාව පාලනය කරගන්න තවදුරටත් මේ විශ්වාසභංගය පාවිච්චි කරන විදියක් තමයි පේන්නේ. විශ්වාසභංගය විවාද කිරීම නොකිරීම අපේ වැඩක්, සම්මත කිරීම නොකිරීම අපේ වැඩක්, ඔබ අපට සු Kee කීකරු කථානායකවරයෙක් වීමෙන් පමණයි ඔබට දවසක් හරි වැඩිපුර මේ ධුරයේ රැඳිලා ඉන්න පුළුවන්. ඒ නිසා විශ්වාසභංගය අපි ප්රමාද කරන්න ඔබට උදව් කරන්නම්, ඒ නිසා අපට ඕන විදියට ඔබ හැසිරෙන්න කියන සෘජු පණිවිඩයයි මේ කථානායකවරයාට දෙන්නේ. නැත්නම් මේ විවාදය කරලා, කරුණු ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව දීලා, ඔවුන්ගේ කරුණු කියන්න ඔවුන්ට අවස්ථාව දීලා, කථානායකවරයාට තමන්ගේ නිර්දෝෂී බව පෙන්වන්න අවස්ථාව දීලා, ඡන්දයක් විමසලා, ආණ්ඩුවට 159 පාවිච්චි කරලා ඕන දෙයක් දිනන්න පුළුවන් බව අපි දන්නවා. බලශක්ති ඇමතිවරයාගේ එකත් දිනුවා, සුමානයකින් ඉල්ලා අස්වෙන්න වුණා. මේ විවාදය ගත්තොත් ඡන්ද ප්රමාණය මොකක් වුණත්, විවාදයෙන් දවසක් යනකොට දන්නකොට කථානායකට පාරේ යන්න වෙන්නේ නැහැ. ඒක තමයි මේ විවාදයේ තිබෙන චෝදනාවල තියෙන බරපතලකම. බැලූ බැල්මට සාක්කි තියෙද්දී ඔහුව ආරක්ෂා කරන්නේ ආණ්ඩුවට ඕනේ පාර්ලිමේන්තුව රබර් සීල් එකක් කරන්න, රූකඩයක් කරන්න, කථානායකව අල්ලේ නටවන්න.
පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයට අවස්ථාවක් නොදෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවයි.
''මෙවැනි වෙලාවක, යම් සැකයක් මතු වුණොත් නීතිමය කාරණා ගැන, සම්ප්රදාය මොකක්ද? රටේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්න එක. හැබැයි අද වෙනකන් නීතිපතිවරයාගෙන් විමසා සිටියේ නැහැ පවතින නඩු විභාගයක් තිබෙනවද, මේ විශ්වාසභංගය විවාදයට ගැනීමෙන් ඒ නඩුවට බලපෑමක් ඇති වෙනවද කියන කාරණය ගැන අහනවා කියලා තීරණය කරලත් ඇහුවේ නැහැ. චෝදනා 50කට ලක් වෙලා ඉන්න කථානායක විසින්ම ඒක වෙනස් කරනවා. ඒ රැස්වීම මුලසුන දරන්නේ මේ කථානායකමයි. ඒ නිසා අපි නැවත වරක් කියනවා කථානායකවරයාට පුළුවන් මේ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ ඔවුන්ට තියෙන බහුතරය පාවිච්චි කරලා හිතුමනාකාර වෙන්න. න්යායපත්රයට මේ විශ්වාසභංගය නොදමා ඉන්න. හැබැයි න්යාය පුස්තකයෙන් අයින් කරන්න නීත්යානුකූලව ඔහුට හැකියාවක් නැහැ. අපිට විධිමත් විවාදයක් දෙන්න බැරි නම්, ඒ විවාදය අපි ගන්නවා. අපිට විධිමත් විවාදයක් දෙන්න බැරි නම් මේ චෝදනා පිළිබඳව අපේ පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් අනිවාර්යයෙන්ම පියවර ගන්නවා.''
කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නොවැම්බර් මස 03 වනදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා ඊයේ පැවසුවා.
ඒ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර, ඔක්තෝබර් 28 වනදාට පෙර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙන් බවයි සභානායකවරයා පැවසුවේ.




