නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ තිළිණ රාජපක්ෂ මහතාට අසභ්‍ය වචනවලින් බැණ වැදී පහර දී අමානුෂික සැලකීම්වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මාධ්‍යවේදී තිළිණ රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එවක අලව්ව පොලිසියේ සැරයන්වරුන් වශයෙන් සේවය කළ රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස්. විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.
ඊට අමතරව වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනු කිරීමට හැකියාව සොයා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.
2021 වසරේ මාර්තු මස 01 වනදා දහවල් 01.00ට පමණ තමා පොල්ගහවෙල ප්‍රදේශයේ සිට කොළඹ කරා යතුරු පැදියකින් එමින් සිටියදී සුදු ඉරෙන් වාහනයක් ඉස්සරහ කිරීමට සූදානම් වීම හරහා මාර්ග නීති උල්ලංඝනය කළ බව චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව නැවැත්වීමට කටයුතු කළ බව පෙත්සම්කරු පවසනවා.
ඉන් අනතුරුව සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේ මෙම වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසභ්‍ය වචනවලින් තමන්ට බැණ වැදුණු අතර ඔවුන්ගේ ක්‍රියා කලාපය තමන් වීඩියෝ ගත කිරීමට පියවර ගත් අවස්ථාවේදී ඔවුන් තමන්ට අතින් පයින් පහර දුන් බවත් පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.
ඉන් අනතුරුව ඔවුන් තමන්ට මාංචු දමා ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට රැගෙන ගිය අතර අලව්ව පොලිසියේ ස්ථානාධිපතිවරයාට තමා මාධ්‍යවේදියෙකු බව පැවසු බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් කතා කළ බවත් පෙත්සම්කරු කියා සිටියා.
ඉන්පසුව ස්ථානාධිපතිවරයා තමාගෙන් සමාව ඉල්ලා සිටි බව සඳහන් කළ පෙත්සම්කරු අනතුරුව රෝහල්ගත කෙරුණු බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
පසුව රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවත් පසුව ඇප මත මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කරු චෝදනා කළා.
වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපයෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ගේ හැසිරීම අත්තනෝමතික බවත් නිසි නීතිමය ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් ඔහු පෙත්සම්කරු සම්බන්ධයෙන් ක්‍රියාකර තිබෙන බවත් තීන්දු කළා.
ඒ අනුව වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.



