බස් ගාස්තු ඉහල නංවන තෙක් පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනයේ සැලකිය යුතු අඩුවක් තවමත් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ඒ, ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්‍ෂව මෙතෙක් බස් ගාස්තු වැඩි නොකිරීම හේතුවෙන්.

පවතින ගාස්තු යටතේ බස් ධාවනය කිරීමෙන් තමන්ට පාඩුවක් වන බවයි බස් හිමියන් පවසන්නේ.

මේ හේතුවෙන් සමස්ත පුද්ගලික බස් රථවලින් සියයට 90 ක් පමණ අද දිනයේදී ධාවනය වී නොමැති බව පුද්ගලික බස් සංගම් පවසනවා.

ඇතැම් මාර්ගවල දුර ගමන් සේවා සහ කෙටි ගමන් සේවා වාර කිහිපයක් සදහා පමණක් පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනය වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ දී පුද්ගලික බස් රථ සියයට අනූවක් පමණ ධාවනය නොවූ බවයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින ගැටළු කඩිනමින් විසදීම බලධාරීන්ගේ වගකීමක් වන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.