කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි කොස්ගම පොලීසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට එලෙස වෙඩි තබා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ එම ත්‍රීරෝද රථයේ ගමන් කළ මව, දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙක්.

ඔවුන් වයස අවුරුදු 12, 30 සහ 44 යන වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කරන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

වෙඩි තැබීමට හේතුව සහ වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.