භූ-දේශපාලනික නොසන්සුන්තාවන් සහ ඇමරිකානු ප්‍රතිපත්තිවල වෙනස්වීම් හමුවේ ඩොලරය මත පවතින රැඳියාව අඩු කර ගැනීමේ අරමුණින්, ඉන්දීය තෙල් පිරිපහදු සමාගම් රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා විකල්ප මුදල් ඒකක භාවිතා කිරීම වඩ වඩාත් වැඩි කර ඇති බව මෙම විෂය පිළිබඳව දන්නා ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වලට අනුව, මෙම ගනුදෙනු සිදු කරනු ලබන්නේ රුසියානු විකුණුම්කරුවන් සතු විශේෂ විදේශීය බැංකු ගිණුම්වලට ඉන්දීය රුපියල් තැන්පත් කිරීමෙනි.

පසුව එම මුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් හෝ චීන යුවාන් බවට පරිවර්තනය කරනු ලැබේ.

සීමිත විදේශීය ශාඛා පවතින ඇතැම් ඉන්දීය බැංකු මෙම වෙළඳ ගනුදෙනු සඳහා පහසුකම් සලසන බව ද වාර්තා වේ.

රුසියානු තෙල් මිලදී ගැනීම් ඉහළ නැංවීම සඳහා ඇමරිකාව මේ මස මුලදී ඉන්දියාවට ලබා දුන් සහනය අප්‍රේල් 11 වන දින අවසන් වීමට නියමිතය.

එම කාලසීමාවට පෙර, ඇමරිකානු ප්‍රතිපත්ති වෙනස්වීම් වලින් සිදුවන බලපෑම සීමා කර ගැනීම සඳහා සමහර රුසියානු තෙල් සමාගම් විකල්ප මුදල් ඒකකවලින් ගෙවීම් සිදු කරන වඩාත් ස්ථාවර වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.

බ්ලූම්බර්ග් නිවුස් (Bloomberg News) ආයතනය මේ පිළිබඳව අදහස් විමසමින් යොමු කළ විද්‍යුත් තැපෑලට ඉන්දීය මුදල් අමාත්‍යාංශය වහාම ප්‍රතිචාර දක්වා නොමැත.

ගෝලීය බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා යාමට හේතු වූ, ඉරානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ඇති වූ දැවැන්ත සැපයුම් බාධාවන් හමුවේ ඉන්දීය සමාගම් සිය තෙල් මිලදී ගැනීම් වේගවත් කර ඇති පසුබිමක මෙම වෙනස සිදුවී ඇත.

ඇමරිකාව විසින් මෙම සහනය ලබා දුන් දින සිට ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) සහ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) ඇතුළු දකුණු ආසියානු කලාපයේ පිරිපහදු සමාගම් රුසියානු තෙල් බැරල් මිලියන 60ක් පමණ මිලදී ගෙන ඇත.

ඩිරාම් සහ යුවාන් වලට අමතරව, සිංගප්පූරු ඩොලරය සහ හොංකොං ඩොලරය පිළිබඳවද මෙම සමාගම් අවධානය යොමු කරමින් සිටින නමුත්, එම ගනුදෙනු තීරණය වන්නේ අදාළ බැංකුවල කැමැත්ත සහ පහසුව මත බව ඉහත ආරංචි මාර්ගයක් වැඩිදුරටත් සඳහන් කළේය.