සිය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම
මධ්‍ය පරිමාණ ජලාශ 17ක් ද අද (13) පෙරවරු 6.00 වනවිට වාන් දමමින් පැවති බවයි එම දෙපාර්තමේන්තුව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ අයත්.

රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙනවා.

එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතිනවා.

එමෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතින ජලාශ අතරට අයත් බවයි වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුඔයට මුදාහැරෙමින් පවතිනවා.

මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.