මෙම වසරේ ගතවූ මාස 08ට ආසන්න කාලය තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2,522 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනෙකු අද දිනයේ කොරියාව බලා පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට තරුණියන් 07 දෙනෙකු ද ඇතුළත් වූ බවයි එම කාර්යංශය පැවසුවේ. මෑත කාලීනව තරුණියන් ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. ඒ අනුව මෙම වසර තුලදී තරුණියන් 85 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමඟින් හිමි වනවා.