මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය අයවැය අනුමැතිය ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය යටතේ 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්. එහිදී වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් ද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙනවා.

ජනපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 08 සිට නොවැම්බර් 14 දක්වා පැවැත් වීමට නියමිතයි.

දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වෙන්නේ නොවැම්බර් 14 වනදා පස්වරු 06.00ටයි.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 05 වනදා පස්වරු 06.00ට අයවැය අවසන් ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ආණ්ඩුව ගියවර ලබාදුන් පොරොන්දු පවා මේ දක්වා ඉටුකර නොමැති බවයි.

කෙසේවෙතත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ජනතාවට සහන රැසක් ලැබෙන අයවැයක් ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

ජනාධිපතිවරයා විසින් අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්. එහි සජීවී දර්ශන නෙත් නිවුස් වෙබ් අඩවියට පිවිස නැරඹිය හැකියි.