22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 22 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවිර මහතා පවසනවා.
යෝජිත මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉමහත් ආන්දෝලනයකට ලක්වූවක්. ඒ පිළිබද පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 යන දින දෙකේදී සිදු කිරීමට දින නියම කර තිබෙනවා.
එහෙත් යෝජිත කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ ඊට පක්ෂව ගොණු කෙරුණු පෙත්සම් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ.
පෙත්සම් පිළිබද විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ තීන්දුව කතානායකවරයාට දැනුම්දෙන බවයි.
මෙවැනි පසුබිමක 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය සිදු කරන්නේ කෙසේදැයි ඇතමෙකු කුතුහලයකින් සිටිනවා.
ඒ පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදි දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා අදාළ තීන්දුව ලබන 22 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු ඇතැයි කියාසිටියේ.
ලහිරු කපුගේ : "මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව මේ වනකම් දැනුම් දීමක් කරලා නැහැ. ඒ අතරතුර තමයි ඔබතුමාලා දින නියම කරගන්නේ විවාදයට. දැන් කොහොමද ඒ දින නියම කරලා තියෙන්නේ විවාදය කරන්න? අධිකරණ තීන්දුව තවමත් දැනුම් දීමක් සිදු වෙලා නැහැ."
දේවානන්ද සූරවිර මහතා : "නැහැ නැහැ, අපට දැන් කාලසටහනක් තියෙනවනේ අනිවාර්යයෙන්ම මේ එන 22 හෝ 23 වෙනකොට පැහැදිලි ලෙසම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනවනේ. ඒකත් එක්ක තමා මේ සංවාදය පාර්ලිමේන්තුව ඇතුළේ යොදාගෙන තියෙන්නේ. ඒක විධි විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. මොකද පැහැදිලි අදහසක් තියෙනවා, 22න් පටන් ගන්න පාර්ලිමේන්තු සතිය ඇතුළේ පළවෙනි දවසෙම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි කියන විශ්වාසය අපට තියෙනවා. ඒකත් එක්ක තමා මේ දින යොදාගෙන තියෙන්නේ."




