සපුගස්කන්දේ සිදුවූ රිය අනතුරට අදාලව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අද අත්අඩංගුවට ගත්තා.

ඒ, අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මතයි.

හිටපු කථානායකවරයාගමන්ගත් ජීප් රථය ඊයේ තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්වුණා.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවක්, ඇයගේ බිළිඳිය සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා බීමතින් සිට ඇත්දැයි පරික්ෂා නොකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

සමගි ජන බලවේගයේ සහකාර නීති ලේකම් නීතීඥ යොහාන් ආරියවංශ මහතා අද පැවසුවේ අශෝක රංවල මහතා ඊයේ රාත්‍රියේ රිය අනතුර සිදුකළ අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි එම අවස්ථාවේදීම පරික්ෂා කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි සොයාබැලිය යුතු බවයි.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතාගෙන් ප්‍රශ්න කළා.

ඔහු බීමතින් සිටි බවට පර්යේෂණයේදී ඔප්පු වුවහොත් ඊට එරෙහිව පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම රිය අනතුරෙන් තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනා ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

එම මෝටර් රථයේ සිටි මාස 06ක කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.