අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල ගණන් පහත හෙළීමට තීරණය කර තිබෙනවා.
ඒ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මතයි.
ඒ අනුව, රුපියල් 450ක්ව පැවති රතු ලූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 379 දක්වා රුපියල් 71කින්ද, රුපියල් 245ක්ව පැවති රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 227 දක්වා රුපියල් 18කින්ද, රුපියල් 337ක්ව පැවති කඩල කිලෝග්‍රෑමයක මිල රුපියල් 329 දක්වා රුපියල් 8කින්ද අඩු කර තිබෙනවා.
එමෙන්ම රුපියල් 179ක්ව පැවති රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 173 දක්වාත්, රුපියල් 265 ක්ව පැවති ඉන්දියන් බී ලූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 259 දක්වාත්, රුපියල් 355ක්ව පැවති දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 349 දක්වාත් රුපියල් 6 බැගින් පහත දැමෙනවා.
තවද, රුපියල් 204ක්ව පැවති දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 199 දක්වා රුපියල් 5කින්ද, රුපියල් 217ක්ව පැවති සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 214 දක්වා රුපියල් 3කින්ද, රුපියල් 159ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 158 දක්වා රුපියකින් ද අඩු කර තිබෙනවා.
මීට අමතරව ටින් මාළු මිල ගණන් ද පහත දමා ඇති අතර, රුපියල් 480ක්ව පැවති ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 473 දක්වා රුපියල් 7කින් සහ රුපියල් 240ක්ව පැවති ග්‍රෑම් 155 ටින් මාළු ටින් එකක මිල රුපියල් 235 දක්වා රුපියල් 5කින් පහත දමා ඇති බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.




