රුපියල් කෝටි හතරක් පමණ වටිනා , කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , ගුලි ලෙස සකස් කර , ඒවා ගිල දිවයිනට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.
54 වැනි වියේ පසුවන ඇය ඇංගෝලා ජාතික ගුරුවරියක වනවා.
ඇය එච්.අයි.වී.ආසාදිත කාන්තාවක් බවට රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50 ක් පමණ ගිල දමා , ඇංගෝලාවෙන් , ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර වෙතයි පළමුව පැමිණ ඇත්තේ.
ඉන්පසු ඇය එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ දිවයිනට පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
වඩාත් තරබාරු ඇය රෝද පුටුවක ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කර තිබුණා.
එහිදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඇය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව සැකකාර එම කාන්තාව ගිල දැමූ කොකේන් ගුලි පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා.
මේ වනවිට ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 33 ක් පිටතට දමා ඇති අතර , මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් තව දුරටත් විරේක බෙහෙත් ලබා දෙමින් , මෙම ඉතිරි මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීමට ප්රයත්න දරමින් සිටිනවා




