වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී ඊයේ (3) දින අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් සිටිනවා.
උන්වහන්සේ මෙලෙස එහි රැගෙන සිටින්නේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටයි.
අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවා.
ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ව සිටියදීයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණු අතර එම පෙත්සම සලකා බලමින් ඉකුත්දා නියෝග කෙරුණේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි.
අනතුරුව උන්වහන්සේට මුලින් නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි අතර එහිදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණා.
අධිකරණය විසින් මෙලෙස නිකුත් කළ වරෙන්තුට යටත්ව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනුණේ කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරන්‍යයකදීයි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි එහිදී උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ.




