කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටින කාන්තාවක් භාරයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම සැකකරු සන්තකයේ ගිනි අවියක් තිබූ බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී නොමැති හෙයින් ඔහුට එරෙහිව මෙම අවස්ථාවේ ඇප නියම කරන බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. ඒ අනුව සැකකරු රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලැබුවා. දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බව පෙන්වා දුන් අතර එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනි අවියක් නොතිබූ බව කියා සිටියා. ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා